Sunday, February 5, 2012

සාමඤ්ඤ ඵල සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර අසල කෝමාර භච්ච ජීවකයන්ගේ අඹ වනෙහි මහා භික්‍ෂු සංඝයා වූ භික්‍ෂුන් එක් දහස් දෙසිය පනහක් සමඟ වාසය කළේය. ඒ කාලයේ දී විදේහ දේවිගේ පුත්‍රයා වූ මගධ රට අජාසත් රජ එදවස් පැමිණි පසළොස්වක් පොහොය දවසේ සම්පූර්ණ හඳ එළියෙන් බබළන රාත්‍රියෙහි රජ ඇමතියන් විසින් පිරිවරණ ලදුව උසස් මාලිගාවේ උඩුමහල් තලයට පැමිණ උන්නේය. එවිට අජාසත් රජ මෙසේ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළේය.

´´පින්වත්නි, පිරිසිදු රාත්‍රිය සැබවින්ම ප්‍රීති ගෙන දෙයි. ලස්සන පෙනුමකි. දැකීමට ප්‍රියය. සිත් සතුටු කරන්නීය. මතක තබා ගැනීමට සුදුසුය. ළඟට ගොස් ආශ්‍රය කිරීමෙන් අපගේ සිත් පහදවා ගැනීමට කුමන මහණෙකු හෝ බමුණෙකු අද සොයා යන්නෙමුද?´´

2. මෙසේ කී කල එක්තරා රජ ඇමතියෙක් අජාසත් රජුට මෙසේ කීය. ´´දේවයන් වහන්ස, මේ පූර්ණ කාශ්‍යපයන්ට සමූහයා ඇත්තේය. පිරිස ඇත්තේය. පිරිසට ගුරුවරයෙකි. ප්‍රසිද්ධ කීර්තියක් දරන්නෙකි. තිර්ථක ධර්ම දේශනා කරන්නෙකි. බොහෝ දෙනා විසින් යහපත්යැයි පිළිගෙන තිබේ. බොහෝ කල් පැවිදිව සිටින්නෙකි. බොහෝ කල් ගතවී ගොස් මහලු (අවසාන) වයසට පැමිණියේය. දේවයන් වහන්ස, ඒ පූර්ණ කාශ්‍යප ආශ්‍රය කෙරෙත්වා. ඔහු ආශ්‍රය කරන ඔබගේ සිත හොඳින් පහදින්නේය. ´´ මෙසේ කි කල අජාසත් රජ නිශ්ශබ්ද විය.

3. එක්තරා රජ ඇමතියෙක් එසේම මක්ඛලී ගෝසාලයන් ආශ්‍රය කෙරෙත්වායි කීයේය. අජාසත් රජ නිශ්ශබ්ද විය.

4. එක්තරා රජ ඇමතියෙක් අජිත කේසකම්බලයන් ආශ්‍රය කෙරෙත්වායි කීයේය. අජාසත් රජ නිශ්ශබ්ද විය.

5. එක්තරා රජ ඇමතියෙක් පකුධකච්චායන ආශ්‍රය කෙරෙත්වායි කීයේය. අජාසත් රජ නිශ්ශබ්ද විය.

6. එක්තරා රජ ඇමතියෙක් සංජය බෙලට්ඨපුත්ත ආශ්‍රය කෙරෙත්වායි කීයේය. අජාසත් රජ නිශ්ශබ්ද විය.

7. එක්තරා රජ ඇමතියෙක් නිඝණ්ඨනාථ පුත්ත ආශ්‍රය කෙරෙත්වායි කීයේය. අජාසත් රජ නිශ්ශබ්ද විය.

8. එකල්හි කෝමාරභච්ච ජීවක නිශ්ශබ්දව අජාසත් රජ සමීපයෙහි උන්නේ විය. එවිට අජාසත් රජ, ´´යහළු ජීවකය, ඔබ කුමක් නිසා නිශ්ශබ්දව සිටින්නාහුදැයි´´ ඇසීය.

´´දේවයන් වහන්ස, මේ අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ මහා භික්‍ෂු සංඝයා වූ එක් දහස් දෙසිය පණහක් පමණ භික්‍ෂුන් වහන්සේ සමඟ අපගේ අඹ වනයෙහි වාසය කෙරෙත්. ඒ ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ මෙබඳු ස්තුති ඝෝෂාව උස්ව නැං‍ඟේය. කෙසේද යත්- ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත්ය. සම්මා සම්බුදු විය. විජ්ජා චරණ සම්පන්න විය. සුගත විය. ලෝකවිදූ විය. අනුත්තර විය. පුරිසධම්ම සාරථි විය. දෙව් මිනිසුන්ට උගන්වන බැවින් ශාස්තෘ නම් විය. බුද්ධ නම් විය. භගවත් විය.

එබැවින් දේවයන් වහන්ස ඒ භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රය කෙරෙත්වා. උන් වහන්සේ ආශ්‍රය කරන ඔබ වහන්සේගේ සිත සැකයක් නැතිව පහදින්නේමයයි.´´

´´යහළු ජීවකය, එසේ නම් ඇත් යානාවක් සරසව.´´

9. ඇතින්නියන් පන්සියයක් සහ රජුට නැඟීමට ඇතෙකු ද සරසවා, ´´දේවයන් වහන්ස, ඇත් යානා පිළියෙල කෙරුවේය. ගමනට කාලයයි සලකන්නේ නම් කැමැත්තක් කල මැනව´´යි රජුට දැන්වීය.

එවිට අජාසත් රජ පන්සියයක් ඇතිනි යානයන්හි එක් එක් ස්ත්‍රිය බැඟින් නංවා තමන්ට සුදුසු ඇතුපිට නැඟී පන්දම් දැල්වූ කල මහත් වූ රාජානුභාවයෙන් යුක්තව රජගහ නුවරින් පිටත්ව කෝමාරභච්ච ජීවකයාගේ අඹ වනයට ගියේය.

10. එකල අජාසත් රජුට අඹ වනයට නුදුරු තැනක දී සිතට ලොකු භයක් ඇතිවිය. තිගැස්සීමක් ඇතිවිය. ලොම් නැගී සිටියේය. එවිට අජාසත් රජ, ´´යහළු ජීවකය, මොකද? මා වංචා කලා නොවේද? නැති දේ ඇතැයි කියා මා රැවටුවා නොවේද? මා සතුරන්ට පාවා දෙනවා නොවේද? එක් දහස් දෙසිය පණහක් පමණ වූ මහා භික්‍ෂු සංඝයාගේ කිවිසුම් ශබ්දයක් හෝ කෑරුම් ශබ්දයක් හෝ කථා ශබ්දයක් හෝ පමණවත් ඇසෙන්නේ නැද්ද?´´ ඇසීය.

´´මහරජ, බිය නොවන්න, මහරජ ඉදිරියට යන්න, වක්‍රාකාර ශාලාවෙහි පහන් දැල්වෙයි.´´

11. එවිට අජාසත් රජ ඇතුපිටින් යන්ට හැකිතාක් දුරට ගොස්, ඇතුපිටින් බැස පයින්ම වක්‍රාකාර ශාලාවේ දොර ලඟට පැමිණියේය. එසේ පැමිණ, ´´යහළු ජීවකය, භාග්‍යවතුන් වහන්සේ කොතනදැයි´´ ජීවකයාගෙන් ඇසුවේය.

´´ඒ භාග්‍යවතුන් වහන්සේ, මැද කණුව සමීපයෙහි නැගෙනහිර දෙස බලා භික්‍ෂු සංඝයා පිරිවරා වැඩහුන්නේ භාග්‍යවතුන් වහන්සේය.´´

12. එවිට අජාසත් රජ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳින තැනට පැමිණියේය. පැමිණ එක පැත්තකට වී සිටියේය. හැම පැත්තෙන්ම සන්සුන් වූ නිශ්ශබ්ද වූ පිරිසිදු විලක් මෙන් සතුටු ඉන්ද්‍රින් ඇති භික්‍ෂු සංඝයා නැවත නැවත බලා, ´´දැන් මේ භික්‍ෂු සංඝයා යම් ආකාර සංසිඳීමකින් යුක්ත ද, මාගේ උදයභද්ද කුමාරයා ද ඒ ඉන්ද්‍රිය මැඬ පවත්වා ගැනීමෙන් යුක්ත වේවා´´යි ප්‍රීති වාක්‍යයක් අජාසත් රජ පහළ කළේය.

´´මහරජ, භික්‍ෂු සංඝයා බලා තොපගේ සිත ප්‍රේමය ඇති තැන කරා ගියා වේද?´´

´´ස්වාමීනි, උදයභද්ද කුමාරයා මට ප්‍රියය, දැන් මේ භික්‍ෂු සංඝයා යම් ඉන්ද්‍රි මැඬ පවත්වා ගැනීමකින් යුක්ත ද, උදයභද්ද කුමරු ද ඒ ඉන්ද්‍රිය මැඬ පවත්වා ගැනීමෙන් යුක්ත වේවා.´´

13. එවිට අජාසත් රජ භාග්‍යවතුන් වහන්සේ මනා කොට වැඳ, භික්‍ෂු සංඝයාට දෑත් එකතු කොට වැඳ එකත්පස්ව උන්නේය. එසේ උන්නා වූ අජාසත් රජ ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් ප්‍රශ්නයක් ඇසීමට අවසර දෙන්නේ නම්, කිසියම් ප්‍රශ්නයක් අසමි´´යි කීයේය.

´´මහරජ, තොපට යමක් කැමති නම් එය අසව.´´

14. ´´ස්වාමීනි, ඒ ඒ අයගේ ජීවත්වීමට හේතු වූ බොහෝ ශිල්ප වෙයි. ඒ ශිල්පයන් දක්වා මේ ආත්මයේම තමා විසින් දැක්ක හැකි ශිල්ප ඵලය නිසා ජීවත් වෙති. ඔවිහු ඉන් තම ජීවිතය සුවපත් කෙරෙත්. ස්වාමීනි, එමෙන්ම මේ භාවයෙහි දැක්ක හැකි වූ විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ප්‍රකාශ කරන්නට ඔබට පුළුවන්ද?´´

15. ´´මහරජ, ඔබ මේ ප්‍රශ්නය අන් මහණ බමුණන් ගෙනුත් ඇසූ බව නොදන්නේහිද?´´

´´ස්වාමීනි, මේ ප්‍රශ්නය වෙනත් මහණ බමුණන් ගෙන් මම ඇසූ බව දනිමි.´´

´´මහරජ, ඔවුන් එය කෙසේ විසඳුවාදැයි ඔබට අපහසු නොවේ නම් කියව.´´

´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ හෝ භාග්‍යවතුන් වහන්සේ බඳු අන්‍යයෝ හෝ යම් තැනක වෙත් ද, එතුමන් ඉදිරියෙහි කියන්නට අපහසු නොවේ.´´

´´මහරජ, එසේ නම් කියනු මැනව.´´

16. ´´ස්වාමීනි, මම එක් දිනෙක පූර්ණ කාශ්‍යපයන් වෙත පැමිණ මේ ආත්මයෙහි දැක්ක හැකිවූ විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ප්‍රකාශ කරන්නට පුළුවන්දැයි ඇසුවෙමි. ´´

17. ´´ස්වාමීනි, පූර්ණ කාශ්‍යපයා මට මෙසේ කීය. සිය අතින් කරන්නා හටද, අණ දී කරවන්නා හටද, ශෝක ඇති කරන්නා හටද, අනුන් ලවා ශෝක කරවන්නා හටද, ප්‍රාණ හිංසා, නුදුන් දෙය ගන්නා, පැහැර ගන්නා, පර අඹුවන් කරා යන්නා, බොරු කියන්නා, පවක් කරන්නා හටද පවක් නැත්තේය. දෙමින්, දෙවමින්, යාග කරමින්, කරවමින් ඒ හේතුවෙන්ද පිනක් නැත්තේය. පුණ්‍යාගේ වැඩීමක් නැත්තේය. (දන්) දීමෙන් ද, ඉන්‍ද්‍රි දමනයෙන් හෝ එක් වරුවේ කෑම ගන්නා දිනයෙන් ද, සීල-හික්මීමෙන් ද, සැබෑ කීමෙන් ද, පිනක් නැත්තේය. පුණ්‍යාගේ පැමිණීමක් නැත්තේය´´ යනුයි.

ස්වාමීනි, මෙසේ මා විසින් හොඳින් දුටුවා වූ යහපත් මාර්ග ඵලය අසන කල පූර්ණ කාශ්‍යප නොකිරීම ප්‍රකාශ කළේය. ඒ වචනය සාර වශයෙන් නොගෙන, එය සිතෙහි නොපිහිටුවා උන් ආසනයෙන් නැගිට ගියෙමි.´´

18. ´´ස්වාමීනි, මම එක් දිනෙක මක්ඛලීගෝසාලයන් වෙතට පැමිණ මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ප්‍රකාශ කරන්නට පුළුවන්දැයි ඇසුවෙමි.´´

19. ´´ස්වාමීනි, මා මෙසේ කී කල මක්ඛලීගෝසාල මට මෙය කීවේය. එනම්- මහරජ, සත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව සත්වයෝ කෙලෙසෙත්. සත්වයන්ගේ පිරිසිදු වීමට හේතුවක් ප්‍රත්‍යයක් නැත්තේය. හේතු රහිතව ප්‍රත්‍ය රහිතව සත්වයෝ පිරිසිදු වෙත්. තමා කල කර්මයෙහි විපාක නැත. අනුන්ගේ අවවාදානුශාසනා පරිදි කල කර්මයෙහි ඵලය නැත. බලයක් නැත. වීර්යයක් නැත. පුරුෂ පරාක්‍රමයක් නැත. සියළු සත්වයෝ ද, සියළු ප්‍රාණීහු ද, සියළු භූතයෝ ද යන සියල්ලෝම වසඟ නැත්තෝ බල නැත්තෝය. වීර්යය නැත්තෝය. නියම ගති ඇති බැවින් සය ආකාර උසස් ජාතීන් අතුරෙහි ඒ ඒ ගතිවලට පැමිණීමෙන්ද ස්වභාවයෙන්ද නොයෙක් ආකාරයට පැමිණියාහු ජාතියෙහිම සුවදුක් විඳිත්. භවයෙන් භවයෙන් ගොස් ජීවත් වෙමින් දුක් අවසන් කෙරෙත්.´´

´´ස්වාමීනි, මෙසේ මා විසින් ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ඇසූ කල මක්ඛලීගෝසාල භවයෙන් භවයට යාමෙන් සත්වයා පිරිසිදු වන බව ප්‍රකාශ කළේය. ඔහු කී දේ සාර වශයෙන් නොගෙන, එය සිතෙහි නොපිහිටුවා උන් ආසනයෙන් නැඟිට ගියෙමි.´´

20. ´´ස්වාමීනි, දිනක් මම කේස කම්බලධාරී වූ අජිතයන් වෙත පැමිණ මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ප්‍රකාශ කරන්නට හැකිදැයි ඇසුවෙමි.´´

´´ස්වාමීනි, මා මෙසේ කී කල කේසකම්බල අජිත මට මෙය කීයේය. – මහරජ, දානයක් නැත, යාගයක් නැත, ගරු බුහුමන් කිරීමක් නැත, කුශලාකුශල කර්මයන්ගේ ඵලයක් නැත, විපාකයක් නැත, මෙලොව නැත, පරලොව නැත, මවෙක් නැත, පියෙක් නැත, මැරී උපදින සත්වයෝ නැත, යමෙක් මෙලොව පරලොව විශේෂ ඥානයෙන් දැන අවබෝධ කොට ප්‍රකාශ කෙරෙත්ද එබඳු ආර්ය මාර්ගයට පැමිණි හොඳින් පිළිපැද්ද මහණ බමුණෝ ලෝකයේ නැත.

සතර මහා මූලික ධාතු (චතුර් මහා භූතමය) වූ මේ පුර්ෂ තෙමේ යම් කලෙක මැරුණේ ද එකල ඒ ඒ ධාතු, ධාතු රැසට පැමිණෙයි, ඇතුලත් වෙයි. ඉන්ද්‍රියයෝ හය අහසෙහි හැසිරෙත්. අනුවණ අය ද නුවණ ඇත්තෝ ද මරණින් පසු සහමුලින් නැතිවෙත්, වැනසෙත්. මරණින් මතු ඔවුන් නොවෙත් (ඉපදීමක් නැත).´´

´´ස්වාමින් වහන්ස, මෙසේ මා විසින් මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ඇසූ කල අජිත තෙමේ උච්ඡෙද වාදය පැවසීය. මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ඇසූ කල ස්වාමීනි ඒ කේසකම්බල අජිත තෙමේ උච්ඡෙද වාදය පැවසීය. ඔහු කී දේම සාරයයි නොගෙන උන් ආසනයෙන් නැගිට ගියෙමි.´´

21. ´´ස්වාමින් වහන්ස, මම එක් දිනක් කච්චායන ගෝත්‍රයෙහි වූ පකුධයන් වෙත ගියෙමි. මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ප්‍රකාශ කරන්නට හැකිදැයි ඇසුවෙමි.´´

´´ස්වාමීනි, මා මෙසේ කී කල පකුධ කච්චායන මට මෙසේ කීය. – මහරජ, නොකරණ ලද්දා හුද, මෙසේ කරවයි කිසිවකු ලවා නොකරවන ලද්දා වූද, නොමවන ලද්දා වූ පඨවි සමූහය, ආපෝ සමූහය, තේජෝ සමූහය, වායෝ සමූහය, සැපය, දුකය, සත්වැනි වූ ප්‍රාණය යන මොහුය මේ සමූහ සත කිසි හේතුවකින් නොකරණ ලදහ. මෙසේ කරවයි කිසිවකු ලවා නොකරවන ලදහ. කිසිවකු විසින් හෝ කිසිවකු ලවා නොමවන ලද්දෝය. කිසිවකු නූපදනන්නෝය. යමෙක් තියුණු ආයුධයකින් හිස සිඳීද කිසිවෙක් කිසිවකු ජීවිතයෙන් තොර නොකරයි. පඨවි ආදී සත් වැදෑරුම් සමූහයන් අතුරින් එහි සිදුරෙන් ආයුධයක් ඇතුළු වෙයි.´´

´´ස්වාමීනි, මා මෙසේ මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති යහපත් මාර්ග ඵලයක් ඇසූ කල කච්චායන ගෝත්‍රයෙහි වූ පකුධ තෙමේ අනිකකින් අනිකක් පැවසීය. ඔහු කී දේම සාරයයි නොගෙන සිතෙහි නොපිහිටුවා උන් ආසනයෙන් නැඟිට ගියෙමි.´´

22. ´´ස්වාමින් වහන්ස, මම එක් කලෙක නිගණ්ඨනාථ පුත්‍රයන් යම් තැනෙක ද එතැනට ගියෙමි. මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති යහපත් මාර්ග ඵලයක් දක්වන්නට හැකිදැයි ඇසුවෙමි´´.

´´ස්වාමීනි, මා මෙසේ කී කල ඒ අගගිවෙස්සන තෙමේ මෙසේ කීය.- මහරජ, මේ ලෝකයේ නිගණ්ඨ තෙමේ සතර කොටසින් යුත් සංවරයෙන් යුක්තවේ. නිගණ්ඨ තෙමේ සියළු සිහිල් ජලයෙන් වැළකෙන්නේ සියළු පවින් වැළකීමෙන් යුක්ත වූයේ සියළු පවු පිඹ හැරියේ සියළු පව් වැළක්මෙන් ස්පර්ශ කරන ලද්දේ වේ. මහරජ, නිගණ්ඨ තෙමේ සංවරයෙන් මෙසේ සතර කොටසින් යුක්තවේ. මහරජ, යම් හෙයකින් නිගණ්ඨ තෙමේ මෙසේ සතර කොටසින් යුත් සංවරයෙන් යුක්තවූයේ වේද, මහරජ, මේ නිගණ්ඨ තෙමේ කෙලවරට පැමිණි සිත් ඇත්තේ ද, දමනය කරන ලද සිත් ඇත්තේ ද, හොඳ ලෙස පිහිටි සිත් ඇත්තේ ද වෙයි.´´ 

´´ස්වාමීනි, මා විසින් මෙසේ මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ග ඵලය ඇසූ කල නිඝණ්ඨනාථ පුත්‍ර තෙමේ හතර කොටසින් යුත් සංවරය ප්‍රකාශ කෙළේය. එයම සාරයයි නොගන්නේ, සිතෙහි නොපිහිටුවන්නේ උන් ආසනයෙන් නැඟිට ගියෙමි.´´

23. ´´ස්වාමීන් වහන්ස මම එක් දිනක් බෙලට්ඨපුත්ත වූ සංජය, වෙත ගියෙමි. මත්තෙහි ඵලදෙන ස්වර්ගයට පමුණුවන සැප විපාක ඇති සම්පත්ති ධර්මයන් උපදවන දානය මහණ බමුණෝ කෙරෙහි පිහිටුවත්. ඒ මන්දැයි ඇසුවෙමි.´´

´´ස්වාමීන් වහන්ස මෙසේ මා විසින් මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ග ඵලය ඇසූ කල සත්ව තෙම මරණින් මතු වන්නේයයි කියාද, සත්ව තෙම මරණින් මතු නොවන්නේයයි කියාද, සත්වයා මරණින් මතු වන්නේත් වෙයි, නොවන්නේත් වෙයි, ආදී කියා බෙලට්ඨපුත්ත සංජය ප්‍රශ්නය ඉවත ලෑම ඉදිරිපත් කළේය. ඒ නොගන්නේ, ඒ සිතෙහි නොපිහිටුවන්නේ උන් ආසනයෙන් නැඟිට ගියෙමි.´´

24.´´ස්වාමීනි මම භාග්‍යවතුන් වහන්සේ ද විචාරමි. මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඇති මාර්ග ඵලයක් දක්වන්නට හැක්කේද?´´

´´එසේ හැක්කේය, මහරජ, එසේ නම් මහරජ මේ කරුණෙහි ලා ඔබගෙන් අසන්නෙමි. යම් ලෙසකින් ඔබට රුචි වන්නේද එසේ ප්‍රකාශ කරව.´´

25. ´´මහරජ මෙකරුණෙහි ඔබට කුමක් හැඟෙන්නේද? එනම් – ඔබට මෙහි අලස නොවී කටයුතු කරන වැඩකරු පුරුෂයෙක් කෙස් දැළි රැවුලු කපා දමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වන්නේය. ඔහු මෙසේ මහණ වූයේම කය සංවරයෙන් යුක්තව වසන්නේය. කිම මහරජ? ´´ඔහු වැඩ කරුවෙක් වේවායි´´ ඔබ කියන්නෙහිද?´´

´´නැත ස්වාමීනි, එබන්දක් නොවේ. එසේ ඇති කල්හි ඔහුට අපි වැඳීම ද කරන්නෙමු. ඔහු දැක (අපිම) හුනස්නෙන් ද නැගිටින්නෙමු, ආසනයන් ද පනවන්නෙමු, සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මෙයින් යමක් අවශ්‍ය වූ විට ඒ බව අපට කිව මැනවැයි ද විශේෂයෙන් පවරන්නෙමු. ධාර්මික වූ ආරක්ෂාවෙන් ආවරණයෙන් රැකීම ද ඔහුට සලසන්නෙමු.´´ 

´´කිම මහරජ? ඉදින් එසේ ඇති කල්හි මේ ආත්ම භාවයෙන් දැක්ක යුතු විපාක ඇති ඵලයක් වේද? නොවේද? ඒ ගැන ඔබ කුමක් සිතන්නෙහිද?´´

´´ස්වාමීන් වහන්ස, මෙසේ ඇති කල ඒකාන්තයෙන්ම මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඵලය වේ මය.´´

26 ´´ස්වාමීනි එපරිද්දෙන්ම මේ ආත්ම භාවයෙහි ලැබෙන අන්‍යවූද මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඵලයක් ප්‍රකාශ කළ හැක්කේ ද?´´

´´හැක්කේය මහරජ, එසේ නම් මහරජ මේ කරුණෙහිලා ඔබගෙන්ම අසන්නෙමි, යම් ලෙසකින් ඔබට රුචි වන්නේද එසේම ප්‍රකාශ කරව. මහරජ, ඔබට සීසාන්නා වූ ගෘහපතියෙක් වූ පුරුෂයෙක් කෙස් දැළි රැවුලු කපා දමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නේය. හෙතෙම මෙසේ මහණ වූයේ කයින් සංවරව වසන්නේය. වචනයෙන් සංවරව වසන්නේය, සිතින් සංවරව වසන්නේය, හෙතෙම ´´සීසාන්නා වූ, ගෘහපති වූ, අයබදු ගෙවන්නා වූ, ධනධාන්‍ය රැස්කරන්නා වූ තැනැත්තෙක් වේවායි´´ ඔබ මෙසේ කියන්නෙහිද?´´

 ´´නැත ස්වාමීනි එසේ නොකියන්නෙමි. එසේ ඇති කල්හි අපිම ඔහුට නමස්කාර කරන්නෙමු. ධාර්මික ආරක්ෂා ආවරණයෙන් රැකීමද සලස්වන්නෙමු.´´

´´කිම මහරජ? ඉතින් එසේ ඇති කල්හි මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඵලයක් වේද? නොවේද? මේ ගැන ඔබ කුමක් සිතන්නෙහිද?´´

´´ස්වාමීනි, මෙසේ වූ කල ඒකාන්තයෙන්ම මේ ආත්ම භාවයේ දැක්ක යුතු විපාක ඵලයක් වේමය.´´

27. ´´ස්වාමීන් වහන්ස මේ ආත්ම භාවයේ දැක්ක යුතු විපාක ඵලයන්ට වඩා අතිශයින් සිත් පිනවන අතිශයින් උතුම් වූ මේ ආත්ම භාවයෙහි ලැබිය හැකි අන්‍ය වූ ද විපාක ඵලයක් දක්වන්නට හැක්කේ ද?´´

´´හැක්කේය මහරජ, එසේ නම් අසව මහරජ, මනාකොට මෙනෙහි කරව කියන්නෙමි.´´

28. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාල සේක. ´´මහරජ, අර්හත් වූ, සම්‍යක් සම්බුද්ධ වූ, විදර්ශනා ඥානය ආදී විද්‍යා අට, සීල සංවරය ආදී හසුරුවන ධර්ම පහළොව අෂ්ඨ විද්‍යා පසළොස් චරණ ධර්මයන් ගෙන් යුක්ත වූ, යහපත් ගති ඇත්තා වූ, සියළු ලෝකයන් දන්නා වූ, ශ්‍රේෂ්ඨ වූ, හික්ම විය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියැදුරෙකු වැනි වූ, සත්‍ය වූ උතුම් ධර්ම හතර (චතුරාය්‍ර්‍ය සත්‍ය) අවබෝධ කළාවූ, තථාගත කෙනෙක් මෙලොව උපදනාහ. ඒ තථාගත තෙමේ දෙවියන් සහිත වූ, බ්‍රහ්මයන් සහිත වූ, මහණ බමුණන් සහිත වූ, රජුන් සහ මිනිසුන් සහිත වූ සත්ත්ව වර්ගයා ස්වකීය උසස් ඥානයෙන් දැක පැහැදිලි කොට ප්‍රකාශ කෙරේ. ඒ තථාගතයන් වහන්සේ මුල යහපත් වූ, මැද යහපත් වූ, කෙළවර යහපත් වූ, අර්ථ සහිත වූ, සියළු ලෙසින් සම්පූර්ණ වූ, පිරිසිදු වූ සියළු ශාසන මාර්ග බ්‍රහ්මචර්යාව ගෙන හැර දක්වති.´´

29. ´´ඒ ධර්මය ඇසූ අය ඒ දහම අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කෙරෙයි. ඔහු ඒ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ මෙසෙ සලකන්නේය. ´´ගෘහ වාසය පීඩා සහිතය. රාගාදී කෙලෙස් සහිත මාර්ගයකි. මහණකම වනාහි කිසිවක් නොමැති අවකාශය මෙන් නිදහස්ය. ගිහි ගෙය වසන්නහු විසින් සියලු ආකාරයෙන් සම්පූර්ණ වූ, සියලු ආකාරයෙන් පිරිසිදු වූ, ලිය වූ හක් ගෙඩියක් මෙන් මෙම බ්‍රහ්ම චරියාවෙහි හැසිරෙන්නට නොහැක්කේය. මම කෙස් දැලි රැවුලු කපා දමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වෙන්නෙම් නම් ඉතා යහපතැයි´´ කියායි.

´´ඔහු පසු කාලයක සම්පත් රාශියක් හැර, නෑ පිරිස් හැර, කෙස් දැලි රැවුලු කපා දමා සිවුරු හැඳ ගිහිගෙන් නික්ම සස්නෙහි මහණ වේ. ඔහු ප්‍රධාන සංවර ශීලයෙන් යුක්ත වූයේ, යහපත් හැසිරීමෙන් හා වරද නැති පැවැත්මෙන් යුක්ත වූයේ ස්වල්ප වූත් අකුසලයන්හි විශේෂයෙන් භය දක්නා ගති ඇත්තෙක් වූයේ, යහපත් වූ ශරීරයෙන්, වචනයෙන්, ක්‍රියාවෙන් යුක්ත වූයේ, ශික්ෂාපද සමාදන්ව එහි මොනවට හික්මෙයි. පිරිසිදු වූ ජීවිත පැවතුම් ඇත්තේ වෙයි. ශීලයෙන් යුක්ත වූයේ වෙයි. ඉන්ද්‍රිය විෂයෙහි වැසූ දොරටු ඇත්තේ වෙයි. ආහාරයෙහි පමණ දන්නේ වෙයි. මනා සිහියෙන් හා හරි ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. සන්තෝෂයෙන් යුක්ත වෙයි.´´

30. ´´මහරජ, භික්‍ෂු නමක් කෙසේ නම් සීල සම්පන්න වේද? මහරජ, මේ සස්නෙහි වූ භික්‍ෂු නමක් ප්‍රාණ වධය හැර, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේය. බහා තබන ලද දඬු ඇත්තේ මහා තබන ලද ආයුධ ඇත්තේ, පව් කිරීමෙහි ලජ්ජා ඇත්තේ කරුණාවන්ත වූයේ, සියළු ප්‍රාණීන් කෙරෙහි හිත අනුකම්පාව ඇතුව වාසය කෙරෙයි.´´

´´නොදුන් දෙය ගැනීමෙන් වෙන්ව, එයින් සම්පුර්ණයෙන් වැළැක්කේ දුන් දෙයම ගන්නේ, දුන් දෙයම කැමති වන්නේ සොර නොවූ පිරිසිදු වූ සිතින් යුතුව වාසය කෙරේ.´´

´´අබ්‍රහ්මචර්යාව හැර උතුම් පැවතුම් ඇත්තේ ස්ත්‍රී පුරුෂ සංසර්ගය නම් වූ ග්‍රාම ධර්මයෙන් වෙන් වූයේ බ්‍රහ්බචාරී වෙයි.´´

´´බොරු කීමෙන් දුරුව, ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, සැබෑ තෙපුල් කියන්නේ, සැබැවින් සැබව ගළපන ගති ඇතුව ස්ථිර කතා ඇත්තේ, ඇදහිය යුතු වචන ඇත්තේ ලෝකයා අතර විරුද්ධ කතා ඇති නොකෙරේ.´´

´´පිසිණු බස් හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ මෙතනින් අසා මොවුන් බිඳවීම පිණිස මෙතැනින් නොකියන ගති ඇත්තේ ද, මෙසේ භේද වූවන් ගළපන්නේ, සමගි වූවන්ගේ සමගිය තහවුරු කිරීමට අනුබල දෙන්නේ, සමගියෙන් ඇලුම් බහුල කොට ඇත්තේ, සමගි කම්හි ඇලුනේ, සමගිකම්හි සතුටුවන ගති ඇත්තේ, සමගිය ඇති කරන තෙපුල් කියන්නේය.´´

´´පරුෂ වචනය, හැර සම්පූර්ණයෙන් වැළැක්කේ, යම් වචනයක් නිදොස් වේ ද, කණට සැප ද, ප්‍රෙමණීය ද, සතුටු කරයි ද, යහපත් ද, බොහෝ දෙනාට ප්‍රිය ද, බොහෝ දෙනාගේ සිත් ප්‍රිය කරන්නේ ද, එබඳු වචනම කියන්නේ වේ.´´

´´හිස් වූ ප්‍රලාප කථා හැර ඉන් සම්පූර්ණයෙන් වැළැක්කේ, කාලයට සුදුසු කථා කරන්නේ, සිදු වූ තෙපුල්ම කියන්නේ, අර්ථයෙන් යුක්ත වූ ධර්මයෙන් යුක්ත වූ විනය සම්බන්ධ වූ තෙපුල් කියන්නේ, සුදුසු කල්හි, උපමා හා කරුණු සහිත වූ, සීමා ඇති අර්ථයෙන් යුත්, නිධානයක් මෙන් සිතෙහි තැබිය යුතු වචන කියන්නේ වේ. මෙසේ ඒ හිස් වචනයෙන් වැළැක්මද, දියුණුවට හේතුවන වචන කීමද මේ ඔහුගේ සීලය වේ.´´

´´තණ ගස්, වැල් සිඳීම්, බිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ, එක් වේලේ වළඳන කෑම ඇත්තේ, රාත්‍රී කෑමෙන් හා අවේලෙහි කෑමෙන් සම්පූර්ණයෙන් වැළැක්කේය.´´

´´මල්, ගඳ විලවුන් පැළඳීම, ඉන් සැරසීම, අඩුතැන් පිරවීමෙන් අලංකාර කිරීම යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය.´´

´´උස් අසුන් මහ අසුන් යන මෙයින් වැළැක්කේය.´´

´´රන් රිදී මසුරන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් වැළැක්කේය.´´

´´අමු වූ ධාන්‍ය වර්ග පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොර වූයේය.´´

´´අමු මස් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොර වූයේ ද, ස්ත්‍රීන් හා ගැහැනු ළමයින් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොර වූයේ ද වේ. වැඩකරුවන් වැඩකාරියන් පිළිගැන්මෙන් සම්පූර්ණයෙන් තොර වූයේ, කුකුළන්, හූරන්, ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන්, කෙත්, වත් යන මේ පිළිගැන්මෙන් ද සම්පූර්ණයෙන් තොර වූයේය.´´

´´ගිහියන්ගේ දූත මෙහෙවරය, ගෙන් ගෙට යන මහත් මෙහෙවරය යන මෙයින් සම්පූර්ණයෙන් තොර වූයේ වැළැක්කේය.´´

´´ගනුදෙනු කිරීමය, තරාදි ආදියෙන් වංචා කිරීමය, රන් හා නොරන් මිශ්‍ර වංචා කිරීමය, වී ආදිය මැනීමෙන් වංචා කිරීමය, හිමියන් අහිමි කිරීම ආදිය සඳහා අල්ලස් ගැනීමය, උපායෙන් අනුන් රැවටීමය, යකඩ ආදී ලෝහ රන් රිදීයයි අඟවා වංචා කිරීමය, නොයෙක් ආකාර වූ කුටිල ප්‍රයෝගය යන මෙයින් සම්පූර්ණයෙන් වැළැක්කේය.´´

´´කැපීමය, මැරීමය, බැඳීමය, සැඟවී සිට වස්තු පැහැර ගැනීමය, ගම් නියම්ගම් ආදිය පැහැරීමය, බලහත්කාර කමින් වස්තු පැහැර ගැනීමය යන මෙයින්ද සම්පූර්ණයෙන් වැළැක්කේය, මේ ඔහුගේ සීල වේ.´´

(සුලු සීලය නිමියේය)

31. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ගස් ආදිය වැවීමෙහි යෙදී වාසය කරත්. මෙබඳු වූ බීජ ගාම භූත ගාමයන් සිඳීම්, බිඳීම් ආදියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේ නම් මෙයද ඔහුගේ එක් සීලයක් වේ.´´

´´එසේම සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා ආහාර වර්ග බීම වර්ග දෙවෙනි දිනට තබා ප්‍රයෝජන ගැන්මය, අයිතියට නොගත් සිවුරු ආදිය යාන නම් වහන් දෙකකින් වැඩි සයන, සුගන්ධයන්, තල සහල් ආදිය තැන්පත් කොට තබා ප්‍රයෝජන ගැන්ම යයි කියන ලද පසුවට තබා ප්‍රයෝජන ගැන්මෙහි යෙදී වාසය කරත්. මෙබඳුවූ සන්නිධිකාර පරිභෝගයන් වැළකී වෙසේ නම් එසේම මන්ත්‍ර පිරවීමෙන් නෘත්‍ය ආදී විසුළු දැක්මෙන් සම්පූර්ණයෙන් වැළකේ නම් මෙය ද ඔහුගේ සීලයක් වේ. එසේම දූ කෙළියෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙය ද ඔහුගේ එක් සීලයෙකි. උස් අසුන් මහ අසුන්හි හිඳීම් ආදියෙන් වැළැක්කේ නම් මෙය ද ඔහුගේ එක් සීලයෙකි. සැරසීම් අලංකාර කිරීම් ආදියෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙය ද ඔහුගේ එක් සීලයෙකි. පහත් කථාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙය ද ඔහුගේ එක් සීලයෙකි. දෝෂාරෝපන කථාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙය ද ඔහුගේ එක් සීලයෙකි. දූත භාවය, හසුන් ගෙනයාම යන මෙයින් වැළැක්කේ නම් මෙය ද ඔහුගේ එක් සීලයෙකි. කුහක වංචා ප්‍රයෝග ආදියෙන් වැළැක්මක් වේ නම් මෙය ද ඔහුගේ එක් සීලයෙකි.´´

(මැඳුම් සිල් නිමියේය)

32. ´´සමහර මහණ බමුණෝ මෙන් යාග හෝම ආදී හේතුවෙන් සාමුද්‍රිකා ශාස්ත්‍රය, නිමිති ශාස්ත්‍රය හේතුවෙන් කරන ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ වේද මෙයද ඔහුගේ එක් සීලයෙකි.´´

´´සමහර මහණ බමුණෝ මෙන් ලක්‍ෂණ බැලීමෙන් කරන පහත් විද්‍යාවන් නිසා කරන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.´´

´´සමහර පහත් බමුණෝ මෙන් රජුන්ගේ බැහැර යෑම ඒම ජය පරාජය ආදී පහත් විද්‍යා හේතුවෙන් කරන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.´´

´´සමහර මහණ බමුණෝ මෙන් චන්‍ද්‍ර ග්‍රහණ, සූර්ය්‍ය ග්‍රහණ යනාදියේ විපාක කීමේ පහත් විද්‍යාවන් හේතුකොට ගෙන කරන ලාමක ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.´´

33. ´´සමහර මහණ බමුණෝ මනා වැසි දැති වන්නේය, මනා වැසි නැති වන්නේය ආදී ලෝකයට සිදුවන දේ ගැන ශාස්ත්‍ර ඉගෙනීමයයි මෙසේ පහත් විද්‍යාවන් කරණ කොට වැරදි ජීවිකා කෙරෙත්. මෙසේවූ පහත් විද්‍යා හේතුවෙන් වන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.´´

34. ´´සමහර මහණ බමුණෝ ආවාහ කරවීමය, විවාහ කරවීමය, නූල් බැඳීමය, මන්ත්‍ර ජප කිරීමය, කැඩපත්හි දේවතාරෝපණය කොට ප්‍රශ්න ඇසීමය, ගැහැනු දරුවන්ගේ ශරීරයෙහි දේවතාරෝපණය කොට ප්‍රශ්න ඇසීමය, කටින් ගිනිදැල් පිට කිරීමය, ශ්‍රී දේවිය කැඳවීම ආදී පහත් ක්‍රියාවෙන් වැරදි ජීවිකා කෙරෙත්. මෙබඳුවූ පහත් විජ්ජාවන් කරන වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.´´

35. ´´සමහර පින්වත් මහණ බමුණෝ ශාන්ති කිරීම, මන්ත්‍ර කිරීමය, භූරි කර්මය, පණ්ඩකයා පුරුෂයෙකු කිරීමය, පුරුෂයා පණ්ඩක කිරීමය ආදී මෙබඳු පහත් විද්‍යා කරණ කොට වැරදි ජීවත් වීමෙන් ජීවිකා කෙරෙත්. මෙබඳුවූ වැරදි ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළැක්කේ නම් මෙයද ඔහුගේ එක් සීලයෙකි.´´

36. ´´මහරජ, මෙසේ ශීල සම්පන්නවූ භික්‍ෂුහට භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ඔහුගේ ශීල සංවරය හේතුකොට ගෙන කිසිතැනකදී නොඋපදින්නේ කුමක් මෙන්ද යත් – මහරජ, ක්‍ෂත්‍රියාභිෂෙකයෙන් මුදුනෙහි අභිෂේක ලද්දාවූ, සතුරන් නැති කළාවූ ක්‍ෂත්‍රිය රජෙක් කිසියම් සතුරෙක්ගෙන් කිසි භයක් නොදක්නේද, එපරිද්දෙන්ම, මහරජ, ශීල සම්පන්නවූ භික්‍ෂු තෙමේ භය කාරණයන් අතුරෙන් එකක් පමණකුදු ශීලසංවරය හේතුකොට කිසි තැනක දී නොදක්නේය. ආර්ය වූ මේ ශීල රාශියෙන් යුක්ත වු ඒ භික්‍ෂු තෙම, තමන් තුල පිරිසිදු වූ (කායික චෛතසික) සැපය විඳියි. මහරජ, මෙසේ දැක් වූ ශීලයෙන් යුක්ත වූ භික්‍ෂුව ශීලසම්පන්න නම් වේ.´´

(මහ සිල් නිමියේය)

37. ´´මහරජ, භික්‍ෂුව කෙසේ නම් ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේ ද? මහරජ, මේ සස්නෙහි භික්‍ෂු තෙමේ, ඇසින් රූපයක් දැක එහි නොඇලේ, එහි නොපෙළඹෙන්නේය. ඇස් ඉන්ද්‍රියෙහි අසංවරව වසන්නහුට දැඩි ආශාව හා කලකිරීමාදී අකුශල ධර්මයෝ සිතට ඇතුල් වන්නාහුද, එබඳු දෙයින් වැළකීම පිණිස ඔහු පිළිපදී. ඔහු තමාගේ ඇස් ඉන්ද්‍රිය රකී, ඇස් ඉන්ද්‍රියෙහි සංවරයට පැමිණේ. එසේම කන් ඉන්ද්‍රියෙහිද, නාස් ඉන්ද්‍රියෙහිද, දිව් ඉන්ද්‍රියෙහිද, සිත් ඉන්ද්‍රියෙහිද සංවරයට පැමිණේ. එබඳුවූ භික්‍ෂුව උතුම්වූ ශීල රාශියෙන් යුක්තවූයේ අභ්‍යන්තරයෙහි පිරිසිඳුවූ අධි විත්ත සැපය විඳියි. මහරජ, මෙසේ වූ භික්‍ෂු තෙමේ ඉන්ද්‍රියන්හි වසන ලද දොරටු ඇත්තේ වෙයි.´´

38. ´´මහරජ, භික්‍ෂුව කෙසේ නම් සිහියෙන් හා මනා ප්‍රඥාවෙන් යුක්තවූයේ වේද?´´

´´මහරජ, මේ සස්නෙහි භික්‍ෂු තෙම ඉදිරියට යෑමෙහිද, ආපසු යෑමෙහිද, ඉදිරි බැලීමෙහිද, වටපිට බැලීමෙහිද, අත් පා හැකිලීමෙහිද, දිගු කිරීමෙහිද, දෙපට සිවුරය, පාත්‍රය, සිවුරය යන මේ දේ දැරීමෙහිදී අනුභව කිරීමය, පානය කිරීමය, වැළඳීමය, රස විඳීමය යන මෙහිද මළ මුත්‍රා පහකිරීම්ද, නුවණින් (ආදීනව) සලකා කරන්නේය. යෑම්, සිටීම්, හිඳීම්, සැතපීම්, නිදි තොරකිරීම්, කථා කිරීම්, නිශ්ශබ්දව සිටීම් යන මේ දේ මනා නුවණින් දැන කරන්නේය. මහරජ, මෙසේ කරන්නාවූ භික්‍ෂු තෙමේ සිහියෙන් යුක්තවූයේ යහපත් නුවණින් යුක්ත වූයේ වෙයි.´´

39. ´´මහරජ, භික්‍ෂු තෙමේ කෙසේ සතුටු වූයේ වේද?´´

´´මහරජ, භික්‍ෂු තෙමේ යන්තම් කය වැසීමට තරම්වූ සිව්රෙන්ද, ආරක්‍ෂාව ප්‍රමාණවූ පිණ්ඩපාත ආහාරයෙන්ද, සතුටු සිත් ඇත්තේ වේ. ඔහු යම් යම් තැනකට යේ නම් අට පිරිකර (කය පිළිබඳ වූදේ) පමනක් ගෙනයයි. මෙසේ වූ භික්‍ෂු තෙමේ සන්තෝෂයෙන් යුක්ත වේ.

40. ඒ භික්‍ෂු තෙමේ කැලය ද, ගහක් මුල ද, සොහොන් ද ඉතා දුර වූ කැලෑ වාසස්ථාන ද, බොහෝ ඉඩකඩ ඇති තැන් සහ තණගුහා ද යන මේ ස්ථාන ආශ්‍රය කෙරෙයි. ඔහු පසුබත් කාලයෙහි පිණ්ඩපාත ආහාරයෙන් වැළැක්කේ, පර්ය්‍යඞකය බැඳ කකුල් අකුලුවා හිඳ ශරීරයේ උඩු කොටස කෙලින් තබා නිවනෙහිම සිත එලවා, ඒ නිවණම අරමුණු වශයෙන් සිත ඉදිරියෙහි පිහිටුවා ගෙන හිඳී.

41. ´´ඔහු ලෝකයෙහි ලෝභය පහකොට ලෝභ රහිත සිතින් යුක්තව වාසය කෙරේ. ලෝභ සිත වෙන් කොට පිරිසිදු කෙරේ. සිත කෙලෙසන්නා වූ ක්‍රෝධය පහකොට ක්‍රෝධයෙන් දුරු වූ සිත් ඇතිව පණ ඇති සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇත්තේව වාසය කරයි. ක්‍රෝධ දොෂයෙන් වෙන්ව සිත පිරිසිදු කෙරේ. කාය චිත්ත දෙදෙනාගේ අලස බව දුරු කොට කය සිත පිලිබඳ පහවූ අලස බව ඇත්තේ පිරිසිදු හැඟීම් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් ප්‍රඥා ඇත්තෙක්ව වෙසේ. අලස බව දුරු කොට සිත පිරිසිදු කෙරේ. උඩඟුබව හා කුකුස දුරුකොට සංසිඳුනු සිත් ඇතිව වාසය කෙරේ. ඇතුලත සංසිඳුනු සිත් ඇත්තේ, සිත උඩඟු බව හා කුකුසෙන් පිරිසිදු කෙරේ. විචිකිච්ජාව සැකය දුරුකොට පහ කළ විචිකිච්ජා ඇත්තේ කුශල ධර්ම විෂයෙහි සැක නැතිව වෙසේ. විචිකිච්ජාවෙන් සිත පිරිසිදු කෙරේ.

42. ´´මහරජ, යම්සේ පුරුෂයෙක් ණය ගෙන කර්මාන්තයන්හි යොදන්නේ ද, ඔහුගේ ඒ කර්මාන්තයෝ දියුණු වන්නාහු නම් ඒ ණය නැති බව මුල්කොට ගෙන බලවත් සතුටක් ලබන්නේය.

43. ´´මහරජ, යම්සේ රෝගයෙන් පෙළෙන දුක් ඇත්තා වූ, දැඩි ගිලන් බව ඇති පුරුෂයෙක් වන්නේ ද ඒ පුරුෂයා පසු කාලයක ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහු ඒ කාරණය මුල්කොට බලවත් සතුටක් ලබන්නේය.

44. මහරජ, යම්සේ පුරුෂකේ සිරගෙයි බැඳුනේ වේ ද, ඔහු පසු කලක පීඩා නැතුව සැපසේ ඒ සිරගෙයින් මිදෙන්නේය.

ඔහු සිරගෙයින් මිදීම නිමිති කොට බලවත් සතුටක් ලබන්නේය.

45. ´´මහරජ, යම්සේ සිය කැමැත්තෙන් යමක් කරන්නට නොහැකි අනුන්ට යටත් වූ තමා කැමති ගමනක් ඒ වූ පරිදි යා නොහැකි, වැඩ කරුවෙක් වන්නේ ද, ඔහු පසු කලක ඒ දාස භාවයෙන් මිදෙන්නේ, තමාම අධිපති කොට ඇත්තේ අනුන්ට යටත් නොව තමාගෙන්ම යැපෙන්නේ, ඔහු ඒ දාසභාවයෙන් මිදීම හේතුකොට බලවත් සතුටක් ලබන්නේය.

46. ´´මහරජ, යම්සේ ධනවත් වූ භෝග සම්පත් ඇති පුරුෂයෙක් ආහාර දුර්ලභ වූ භය සහිත වූ, දීර්ඝ වූ, කාන්තාර මාර්ගයකට පැමිණෙන්නේ ද, ඔහු මඳ කලකින් ඒ කාන්තාර මාර්ගය ඉක්මවා යන්නේ සොර සතුරන්නේ පීඩා නැති ගම්මානයකට සැපසේ ක්‍රමයෙන් පැමිණෙන්නේ ද, ඒ පුරුෂයා ඒ කාන්තාර මාර්ගය එතර කිරීම නිමිති කොට බලවත් සතුටක් ලබන්නේය.

47. ´´මහරජ, ණය යම්සේද, රෝගය යම්සේද, හිරගේ යම්සේද, දාසභාවය යම්සේද, දීර්ඝ කාන්තාර මාර්ගය යම්සේද එපරිද්දෙන් භික්‍ෂු තෙමේ පහ නොකළ ( පඤ්චනීවරණ ) කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි ලා නුවණින් දකී තමන් තුළ ලා දක්නේය.

48. ´´පහ කළා වූ මේ කුසල් වළක්වන කරුණු පහ තමා කෙරෙහි නැතැයි නුවණින් දක්නා වූ ඒ භික්‍ෂු හට සතුටු ආකාරය උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රිති සහගත සිත් ඇත්තහුගේ නාම කය ( වේදනාදී ස්කන්ධ හතර ) සංසිඳෙයි. සංසිඳුනු කය ඇති තැනැත්තේ කායික චෛතසික සැපය විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධියට ( එකඟ බවට ) පැමිණෙයි.

49. ´´ඒ භික්‍ෂු තෙමේ වස්තුකාම ක්ලේශ කාමයන් ගෙන් වෙන් වූයේම, අකුශල ධර්මයන් කෙරෙන් ද වෙන් වූයේම අරමුණෙහි සිත පැමිණ වීම, අරමුණෙහි නැවත නැවත යෙදී හැසිරීම සහිත වූ, සිතෙහි විවේකයෙන් උපන් ප්‍රීතියම සැපකොට ඇති, පළමුවෙනි ධ්‍යාන කුසල චිත්තය තමා තුළ ඉපදවීම් වශයෙන් ඊට පැමිණ එම ධ්‍යානයෙහි වාසය කෙරේ. ඔහු විවේකයෙන් හටගත් ප්‍රීති සැපයෙන් මේ ( සකල ) ශරීරයම සැපවත් කෙරෙයි. සම්පූර්ණ්යෙන් පුරවයි. සැම තන්හි පතුරවයි. ඒ ඔහුගේ පළමුවනි විවේකයෙන් උපන් ප්‍රීති සැපයෙන් සකල ශරීරයෙහිම පළමුවනි ධ්‍යානයෙන් යුත් සැපය පැතිරෙයි. මහරජ, මෙයද මේ ආත්මයෙහි දැකියයුතු විපාක ඇති ඵලයකි. මෙය ඉහතකී මේ ආත්ම භාවයෙහි දැකිය යුතු විපාක ඵලයන්ට වඩා බොහෝ මනොඥය, බොහෝ ශ්‍රෙෂ්ඨද වෙයි.

50. ´´මහරජ, නැවත ද භික්‍ෂු තෙමේ අධ්‍යාත්මයෙහි මනා පැහැදීම කරන්නා වූ, සිත පිළිබඳ එකඟ බව ඇති, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කරයි. ඒ මහණහුගේ සියලු ශරීරයෙහි දෙවැනි ධ්‍යානයෙන් සැප පැතිරේ. මහරජ, එපරිද්දෙන් මේ භික්‍ෂු තෙමේ මේ මුලු ශරීරයම සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් සියලු තැන පතුරුවන ලද්දක් කෙරේ. ප්‍රීති සැපයෙන් හාත්පසින් වගුරුවයි, සම්පූර්ණයෙන් පුරවයි. ඉන් සැමතැනම ස්පර්ශ කෙරෙයි. ඒ මහණහුගේ සම්පූර්ණ ශරීරයෙහි දෙවැනි ධ්‍යාන සැපයෙන් පැතිරෙයි.

´´මහරජ මෙයද මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඵලයෙකි, මෙය වනාහි ඉහතකී මේ ආත්ම භාවයෙහි දැක්ක යුතු විපාක ඵලයන්ට වඩා මනොඥය, බොහෝසේ ශ්‍රෙෂ්ඨය.

51. ´´නැවතද මහරජ, ඒ භික්‍ෂු තෙමේ ප්‍රීතියෙහි නොඇල්මෙන් මැදහත් බැව් ඇත්තේ, සිහි ඇත්තේ, යහපත් නුවණ ඇත්තේ කයින්ද සැපයක් විඳියි. ඒ තුන්වැනි ධ්‍යාන කුසල චිත්තයට පැමිණ වාසය කෙරේ. ඒ භික්‍ෂුහුගේ සියලු ශරීරයෙහි තුන්වැනි ධ්‍යාන සැපයෙන් පැතිරෙයි. ´´මහරජ මෙයද ඉහතකී ඵලයන්ට වඩා බොහෝසේ මනහර වෙයි. බොහෝ සේ ශ්‍රෙෂ්ඨද වෙයි.

52. ´´නැවතද මහරජ ඒ මහණ තෙමේ සැප දුරු කිරීමෙන්, දුක් දුරු කිරීමෙන් ද පළමුකොටම සැප දුක් වේදනා නැතිව යාමෙන් දුක් ද නොවූ, සැප ද නොවූ උපෙක්ඛා-සති යන මොවුන්ගේ පිරිසිදු බැව් ඇති හතරවෙනි ධ්‍යාන ( කුසල ) චිත්තයට පැමිණ වාසය කෙරේ. ඒ ධ්‍යාන ලාභී භික්‍ෂුහුගේ සම්පූර්ණ ශරීරයෙහි පිරිසිදු වූ, අතිශයින් බබලන්නා වූ හතරවැනි ධ්‍යාන සිතින් පැතිරයයි.

´´මහරජ, මේ ඵලය ඉහතකී ඵලයන්ට වඩා අතිශයින් මනහරයි බොහෝ සේ ශ්‍රෙෂ්ඨයි.

53. ´´නැවතද, මහරජ ඒ භික්‍ෂු තෙමේ මෙසේ සිත එකඟ වූ කල්හි, දීප්තිමත් වූ කල්හි කෙලෙස් රහිත වූ කල්හි, ක්ලේශයන් පහ වූ කල්හි, මෘදු වූ කල්හි කටයුත්තට සුදුසුව සිටි කල්හි, කම්පා නොවන බවට පැමිණි කල්හි විදර්ශනා ඥානය ඉපදවීම පිණිස සිත එලවා තබයි. මාගේ මේ ශරීරය වනාහි රූපයෙන් යුක්තය සතර මහා භූතයන්ගේ හේතුවෙන් හටගත්තේය. මව්පියන් නිසා හටගත්තේ ආහාරයෙන් වඩනා ලද්දේය. අනිත්‍ය බවය, ඇඟ ඉලීමය, පිරිමැදීමය, බිඳීමය, විනාශය, යන මේ දේ ස්වභාව කොට ඇත්තේය. මාගේ මේ විඤ්ඤාණය ශරීරය ආශ්‍රය කෙලේ වෙයි. මෙහිම බැඳී සිටියේය.

´´මහරජ, මේ ඵලය ද, දැක්ක යුතු විපාක ඵලයන්ට වඩා බොහෝ සේ මනෝඥය, බොහෝ සේ ශ්‍රෙෂ්ඨ ද වෙයි.

54. ´´ඔහු මෙසේ ධ්‍යානයෙන් සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් නැති වූ කල්හි, ක්ලේශ පහ වූ කල්හි, මෘදු වූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි, නොසැලෙන බවට පැමිණි කල්හි, මනෝමය වූ රූපයක් මනා කොට නිපදවීම පිණිස සිත එලවා තබයි. වෙසෙසින් නමයි. ඔහු ආකාරවත් වූ මනෝමය වූ ( ධ්‍යාන සිතින් නිපදවන ලද ) ශරීරය හා අතපය ආදී අවයව ඇති විකල නොවූ ඉඳුරන් ඇති මේ ශරීරයෙන් අන්‍ය වූ ශරීරයක් හොඳ ලෙස සාදයි.

මහරජ, එසේම භික්‍ෂු තෙමේ මෙසේ සිත සමාධිගත වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කාමහිත් රහිත වූ කල්හි, ක්ලේශයන් පහ වූ කල්හි, මෘදු වූ කල්හි, කටයුත්තට යෝග්‍ය වූ කල්හි, හිත ස්ථිර වූ කල්හි, කම්පා නොවන භාවයට පැමිණි කල්හි, සිතින් උපදවන කය මැවීම පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට ඊට නමයි. ඔහු මේ කයින් රූ ඇති සිතින් මවන ලද, සියලු ශරීරය හා අතපය ආදී අවයව ඇති, නොපිරිහුනු ඉන්ද්‍රිය ඇති වෙන කයක් මවයි. මහරජ, මෙයද ලැබිය යුතු විපාක ඵලයන්ට වඩා උතුම් වූද බොහෝසේ මිහිරි වූද, භික්‍ෂුන් විසින් ලැබිය යුතු විපාක ඵලයක් වෙයි.

55. ´´ඔහු ඊට පසු සෘඬි විධි පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඔහු නොයෙක් අයුරු ඇති සෘඬි විධි වෙන් වෙන් කොට අනුභව කෙරෙයි. එකෙක්ව බොහෝ සේ වෙයි. බොහෝ සේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය හරහට, පවුර හරහට, පර්වතය හරහට, නොහැපෙමින් යයි. දියෙහි මෙන් කිමිදීම මතුවීම කෙරෙයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබෙදා ගමන් කෙරෙයි. පක්‍ෂියෙකු මෙන් අහසෙහිද පරියංකයෙන් හිඳ ගෙනම යයි. මේ මහත් සෘඬි ඇති, මහත් ආනුභාව ඇති සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි, බඹ ලොව තෙක් ශරීරයෙන් වසඟ බව පවත්වයි.

´´මහරජ, මෙයද මේ ආත්මයෙහි වූ, ඵලයන්ට වඩා උතුම් වූ ද, බොහෝ සේ මිහිරි වූ ද, භික්‍ෂුන් විසින් ලැබිය යුතු ඵලයෙක් වෙයි.

56. ඔහු ඊට පසු දිව්‍ය කණ සම්බන්ධ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඒ භික්‍ෂුව පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිව්‍ය කණ සම්බන්ධ ඥානයෙන් දිව්‍යමය වූ ද, මනුෂ්‍යමය වූ ද, දුරෙහි වූ ද, සමීපයෙහි වූ ද, දෙයාකාර ශබ්දයන් අසයි. ඔහු මෙසේ මිනිස් කණ ඉක්ම වූ දිව්‍ය කණ සම්බන්ධ ඥානයෙන් දිව්‍යමය වූ ද, මනුෂ්‍යමය වූ ද, දුරෙහි වූ ද, සමීපයෙහි වූ ද, දෙයාකාර ශබ්දයන් අසයි. ´´මහරජ, මෙයද පෙර කියන ලද ඵලයන්ට වඩා උතුම් වූ ද, මිහිරි වූ ද ඵලයෙකි.

57. ´´ඔහු පර සිත් දැනගන්නා ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි. ඉදිරිපත් කොට නමයි. ඔහු අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිදු යයි දනියි. ලෞකික හිත් අතුරින් උසස් වූ සිත අනුත්තර සිත යයි දනියි. සමාධිගත වූ සිත සමාධිගත යයි දනියි. සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිත යයි දනියි. (ක්ලේෂයෙන් මිදුනු සිත, මිදුනු සිත යයි දනියි. නොමිදුනු සිත නොමිදුන සිත යයි දනියි.)

´´මහරජ, මෙය ද මේ ආත්මයෙහි භික්‍ෂුන් විසින් ලැබිය යුතු ඵලයෙකි. හේ තෙමේ නොයෙක් විදියේ පෙර විසීම් සිහි කෙරෙයි. එක් ජාතියක් ද, දෙජාතියක් ද ආදී වශයෙන් නොයෙක් විනාශ වෙමින් පවතින කල්පයන් ද, නොයෙක් හැදෙමින් පවතින කල්පයන් ද, නොයෙක් විනාශ වන හෝ හැදෙන කල්පයන් ද, මෙසේ ආකාර සහිතව, දැක්වීම් සහිතව නොයෙක් විදියේ පෙර ජීවිත සිහි කෙරෙයි.

´´මහරජ, මෙයද පෙර කියන ලද ඵලයන්ට වඩා උතුම් වූ ද, අතිශයින් මිහිරි වූ ද, භික්‍ෂුන් විසින් ලැබිය යුතු ඵලයෙක් වෙයි.

58. ´´ඔහු සත්ත්වයන්ගේ මරණින් පසු උත්පත්තිය දැනගන්නා නුවණ පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. හේ පිරිසිදු වූ මිනිස් ඇස ඉක්ම වූ, දිව ඇසින් චුතවන උපදින සත්වයන් දකී. ඔවුහු මරණින් මතු සැපයෙන් පහ වූ, නපුරු වූ, දුක් වූ, නිරයට පැමිනෙත්, නැතහොත් යහපත් පැමිණීම වූ ස්වර්ග ලෝකයට පැමිණියෝය.

´´මහරජ, මෙය ද මේ ආත්මයෙහිම භික්‍ෂුන් විසින් ලැබිය යුතු පෙර කියන ලද ඵලයන්ට වඩා උතුම් වූ ද, අතිශයින් මිහිරි වූ ද, මේ ආත්මයෙහි වූ භික්‍ෂු භාවයේ ඵලයෙකි.

59. ´´ඔහු සිතේ පැසවන කෙලෙස් පහ කිරීමේ ඥානය පිණිස සිත ඉදිරිපත් කෙරෙයි, ඉදිරිපත් කොට නමයි. ඔහු මේ දුක යයි තතු ලෙස දැනගනී. මේ දුක් ඉපදීමේ හේතුව යයි තතු ලෙස දැනගනී, මේ දුක් නැති කිරීමයයි තතු ලෙස දැනගනී, මේ දුක් නැති කිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගනී, මේ පැසවන කෙලෙස් යයි තතු ලෙස දැනගනී. මේ පැසවන ක්ලේශයන්ගේ හේතු යයි තතු ලෙස දැනගනී, මේ ඒ කෙලෙස් නැති කිරීමයයි තතු ලෙස දැනගනී. මේ ඒ කෙලෙස් නැති කිරීමේ මාර්ගයයි තතු ලෙස දැනගනී, මෙසේ දන්නා ඔහුගේ සිත කාම ආශාවන් කෙරෙන් ද මිදේ, සංසාරයට ( භවයට ) ඇති ආශාවන් කෙරෙන් ද සිත මිදේ, දැඩි මෝහය කෙරෙන් ද සිත මිදේ, මිදුණු කල්හි මිදුනේය යන සිත වෙයි. ඉපදීම නැතිවිය. උතුම් හැසිරීමෙහි වසන ලදී. කටයුත්ත කරන ලදී, මේ ආත්ම භාවයෙන් පසු අනික් ආත්ම භාවයක් නැතැ´´යිද දැනගනී.

´´මහරජ, මේ වනාහි මේ ආත්මයෙහි වූ භික්‍ෂුන් විසින් ලැබිය යුතු පෙර කියන ඵලයන්ට වඩා බොහෝ උතුම් වූ ද, බොහෝ මිහිරි වූ ද, මේ ආත්මයෙහි භික්‍ෂුන් විසින් ලැබිය යුතු ඵලයෙකි. මේ භික්‍ෂු භාවයේ ඵලයට වඩා බොහෝ උතුම් වූ ද, බොහෝ මිහිරි වූ ද, භික්‍ෂුන් ලැබිය යුතු වෙන ඵලයෙක් නැත.

60. මෙසේ වදාළ කල්හි අජාසත් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ (11) ස්වාමීනි, ඉතාම යහපති. ස්වාමීනි, ඉතාම යහපති ස්වාමීනි, ( යමෙක් ) යටිකුරු කරන ලද්දක් යම්සේ උඩුකුරු කරන්නේ ද, වැසුමක් එලිදරව් කරන්නේ ද, මුළා වූවෙකුට මඟ කියන්නේ ද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහණක් දල්වන්නේ ද, එලෙසින්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය දේශනා කරන ලද්දේය.

(111)´´ස්වාමීනි ( ඒ ඇසූ ) මම භාග්‍යවතුන් වහන්සේ ද, ධර්මය ද, සංඝයා ද, සරණ කොට ගනිමි. අද පටන් දිවි හිම් කොට සරණ ගිය උපාසකයෙකු කොට භාග්‍යවතුන් වහන්සේ මා සලකන සේක්වා. (1111) බාලයෙකු මෙන් ද, අනුවණයෙකු මෙන් ද, අදක්‍ෂයකු මෙන් ද, මම වරදට අසු වූයෙමි. ඒ මම ධාර්මික වූ ධර්මයෙන් යුත් රජෙකු වූ මාගේ පියා සම්පත් ලෝභ හේතුවෙන් ජීවිතයෙන් තොර කෙළෙමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඒ මාගේ වරද මත්තෙහි සංවරණය පිණිස ඒ වරදට මට ක්‍ෂමා කරණ සේක්වා.´´

61. ´´මහරජ, ඒකාන්තයෙන් බාලයෙකු මෙන් ද, අනුවණයෙකු මෙන් ද, අදක්‍ෂයෙකු මෙන් ද වරද ඔබ ඉක්මවා ගියේය. ඒ වරද නම් ධාර්මිකවූ ධර්මයෙන් යුත් රජෙකු වූ පියා සම්පත් ලොභ හේතුවෙන් ජීවිතයෙන් තොර කළෙහිය. මහරජ, ඔබ යම් හෙයකින් වරද වරද වශයෙන් දැක ධර්මය ලෙස වරද පිළිගැනීම කෙරෙහි නම් ඔබේ ඒ වරද අපි ඉවසමු. යමෙක් වරද වරද වශයෙන් දැක මත්තෙහි සංවරණයට පැමිණේ ද, ධර්මය ලෙස වරද පිළිගැනීම කෙරේ ද, එය උතුම් හැසිරීමෙහි දියුණුවයි.´´

62. මෙසේ වදාළ කල්හි අජාසත් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේය. ´´ස්වාමීනි, දැන් ඉතින් අපි යමු. අපි බොහෝ වැඩ කටයුතු ඇත්තෝ වෙමු.´´

´´මහරජ, එසේ නම් ඔබට යාමට සුදුසු කාලය නම් ඒ බව දනුව.´´

එකල්හි මගධ රට රජ වූ වෙදෙහි පුත්‍ර අජාසත් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුව, ඒ ගැන ප්‍රීතිව අස්නෙන් නැඟිට භාග්‍යවතුන් වහන්සේ වැඳ දකුණු පැත්ත ඉදිරියට තිබෙන ලෙස ගෞරවයෙන් ගියේය.

63. එවිට භාග්‍යවත් තෙමේ, අජාසත් රජ බැහැර ගිය නොබෝ වේලාවකින් භික්‍ෂුන්ට ආමන්ත්‍රණය කෙළේය. ´´මහණෙනි, මේ රජ තමන්ම වැනසුනේය. මේ රජ පියා දිවියෙන් තොර නොකෙළේ නම් මේ හුනස්නෙහිදීම පිරිසිදු වූ කෙලෙස් මළ පහ වූ ධර්ම ඇස ( සෝවාන් මඟ ) ඔහුට උපදින්නේය.´´

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. සතුටු වූ සිත් ඇති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ.

දෙවෙනි වූ සාමඤ්ඤ ඵල සූත්‍රය නිමි

No comments:

Post a Comment